Media මංසල

Monday, February 6, 2023

වාරණයේ මුලාරම්භය සහ වාරණය විවිධ රටවලදී ක්‍රියාත්මක වූ ආකාරය

හැඳින්වීම......

තොරතුරු ලොව ඇති බලවත් මහා අත්‍යවශ්‍යම සාධකයක්ය. තොරතුරු නොමැති සමාජයක් දැක ගැනීමට නොහැක. ඒ අනුව තොරතුරු වලින් තොර ලොවක පැවැත්මද අවිනිශ්චිතය. මෙම තොරතුරු ග්‍රන්ථ , සිනමා පට, ජනමාධ්‍ය පඨිත ආදී නොයෙක් ආකාරයෙන් සමාජය තුළ පවතී. මේ විවිධ වූ තොරතුරු මුලාශ්‍ර මගින් සමාජයට කරන බලපෑම ද ප්‍රබලය.

ඒ අනුව එම තොරතුරු සමාජයට සිදුකරන බලපෑම ද විවිධාකාර විය හැකිය. එය යහපත් මෙන්ම අයහපත් ආදී නොයෙක් ආකාරයෙන් සිදු විය හැක. ඒ ආදී වූ විචල්‍යයන් පදනම් කරගනිමින් මෙම වාරණය යන්න ලොවට පැන නැගුණි. මෙම වාරණය මගින් සිදු කරනු ලබන්නේ යම් ප්‍රපංචයක් තුළ ගොඩනැඟී ඇති තොරතුරු පාලනය කිරීමක්, සංස්කරණය කිරීමක් කෝ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් ය. එමගින් බලාපොරොත්තු වන්නේ සමාජයට අහිතකර තොරතුරු ගලා යෑම වළක්වාලීම වුවද එය ඇතැම් විටෙක වෙනස් වන අවස්ථා ද දැකිය හැක. වර්තමානයේ වාරණය යහපත් මෙන්ම අයහපත්  හා පෞද්ගලික වාසියටද භාවිතා කරනු ලබයි. අද වන විට වාරණය නොවන තොරතුරක් දැක ගැනීමට නොමැති තරම්ය. එතරම් දුරට අද වන විට වාරණය යන සංකල්පය පුළුල් ලෙස පැතිරී ගොස්ය.

මෙය මෙලෙස වර්තමානයේ බහුලව සාකච්ඡාවට බදූන් වූවක් වුවද මෙම සංකල්පය ඈත අතීතයේ සිටම පැවත එන්නකි. එම කාලයේදී මෙම වාරණය යන්න එකල සමාජය තුළ නිරන්තරයෙන්ම දක්නට ලැබුණු ප්‍රපංචයකි. ඒ අනුව වාරණ යන්න අතීතයේ සිටම තිබූ බවත් ඉන්පසු එය වර්ධනය වෙමින් වර්තමානය දක්වා පැමිණ ඇති බවත් පැහැදිලිය.

මෙලෙස වර්ධනය වූ වාරණය යන සංකල්පය අද වන විට ප්‍රභේද රාශියක දක්නට ලැබේ. ඒ අනුව මෙම ලිපිය මගින් වාරණයේ මූලාරම්භයේ සිට 20 වන සියවස තෙක් වාරණයේ ප්‍රභේද විවිධ රටවල ක්‍රියාත්මක වූ ආකාරය නිදසුන් ද සහිතව විග්‍රහ කරනු ලබයි.


පටුන......

 

01. වාරණය යනු………………………………………………

 

02. වාරණයේ මූලාරම්භය……………………………………

 

03. වාරණයේ  ප්‍රභේද                                                                                          

a. ස්වයං වාරණය………………………………………

 

          b. මුද්‍රිත මාධ්‍ය වාරණය…………………………………

 

          c. ආගමික වාරණය………………………………………

 

          d. සිනමා වාරණය………………………………………

 

          e. රාජ්‍ය වාරණය…………………………………………

 

          f. යුධමය වාරණය………………………………………

 

          g. ගීත/සංගීත වාරණය…………………………………

 

          h. රූපවාහිනී හා ගුවන්විදුලි වාරණය…………………

 

          i. නාට්‍ය වාරණය…………………………………

 

          j. තැපැල් හා තැපැල් සංදේශ වාරණය…………………………………

 

 

01. වාරණය යනු….



වාරණය හෙවත් Censorship යන පදය ශ්‍රී සුමංගල ශබ්දකෝෂය අර්ථ දක්වා ඇත්තේ "වැලකීම", "බාධක"හා 'වලකන" යන අරුතෙනි. ඊට අමතරව මෙය "පරිහාර කිරීම" යනුවෙන් ද හඳුන්වයි. වාරණය කිරීමේ මූලික අදහස වන්නේ මහජනතාව හෙවත් ග්‍රාහක ප්‍රජාව වෙත යමක්‌ සන්නිවේදනය වීමට පෙර සංදේශගත තොරතුරු හා පුවත්, මෙන්ම කලා නිර්මාණයන් කොටස්‌ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හෝ ඉවත් කර දැමීමේ, තහනම් කිරීමේ හෝ ඒවා ග්‍රාහක ප්‍රජාව වෙත සන්නිවේදනය කළ පසුව සන්නිවේදකයාට දඬුවම් කිරීමේ ක්‍රමය වේ. ඒ අනුව වාරණය පිලිබද මූලික අදහසක් මෙමගින් ලබාගත හැක.

වාරණය පිළිබද නිර්වචන....

"බලය යොදා හෝ නොමැතිව පක්‍ෂ භජනය, අතහැර දැමීම, කරුණු සැඟවීම හෝ ස්‌වයං වාරණය, තොරතුරු සැඟවීම මගින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්‌වීම වාරණයයි"

            - ඇමරිකාවේ හා කැනඩාවේ ක්‍රියාත්මක වන (project Consored) ආයතනය

ලිපි හෝ වාර ප්‍රකාශන, නාට්‍ය සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය ලෙස සලකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ.

                                                                             -ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශය

වාරණය යනු පොත්, නාට්‍යය, චිත්‍රපටි වාර්තා විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් විසින් ඒවා යම් ආකාරයකින් දුරාචාර හෝ රහසියගත ලෙස සලකා ඒවා වාරණය කිරීමයි.

                                                                              -Collins Dictionary-

ඒ අනුව මෙම නිර්වචන මගින් සරලව වාරණය යන්න අවබෝධ කරගත හැකිය. එසේම වාරණයේ අවස්ථාද දැකිය හැක. එහිදී පූර්ව වර්ණය,පසු වාරණය, නීතිමය වාරණය, නීතිමය නොවන වාරණය, සෘජු වාරණය හා වක්‍ර වාරණය වශයෙන් සයාකාරව වාරණය අවස්ථා හඳුනාගත හැක. එසේම වාරණය සඳහා බලපාන නිල හේතූන් ද ඇත. එහිදී විවිධ දේශපාලනික හේතු, සදාචාරාත්මක හේතු, සමාජීය හේතු හා විවිධ ආගමික හේතු ද මෙම වාරණය සඳහා බලපාන නිළ හේතු වශයෙන් පෙන්වා දිය හැක.

02.වාරණයේ මූලාරම්භය....

වාරණයේ ඉතිහාසය ශිෂ්ටාචාරයේ ආරම්භය දක්‌වාම දිවයයි. එනම් සෑම ගෝත්‍රයක්‌ තුළම සිදු නොකළ යුතු දේ හෙවත් විරිත්, තහංචි සහ එයට අදාළ ආචාරධර්ම හා නීති පද්ධති පවතී. එකල මෙය වාරණය ලෙස හැඳින් නොවුණද, අතීතයේ සිට පවතින තහංචි මගින් මෙම වාරණය ක්‍රියාත්මක වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.මෙම තහංචි හෙවත් (Taboo ) යන වචනය සම්භවය වී ඇත්තේ පොලිනීසියානු වචනයකි. මෙම (Taboo ) යන වචනය යුරෝපයට හඳුන්වා දී ඇත්තේ වර්ෂ 1728-1779 වකවානුවේදී පෙරදිග රටවල් සොයා මුහුදු ගවේෂණයේ යෙදුණු කපිතාන් ඡේම්ස්‌ කුක්‌ බව (A Dictionary of Communication and Media Studies) කෘතියේ සඳහන් වේ.අපේ ශ්‍රී ලංකාව තුළද සිංහල ජන සමාජයේ විවිධ විශ්වාස හා ඇදහිලි හරහා මෙම තහංචි වල මූලික අවස්‌ථාවන් හඳුනාගත හැකිය. එම තත්ත්වය පසුව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීම නිසා විවිධ ආකාරයේ සමාජ තහංචි පැවැත ඇත.උදාහරණයක් ලෙස ගිණි කෙළියේ තහංචි,අටංගෙඩි තහංචි.බත් හැලියේ තහංචි,කුලු තහංචි,ඉඳුම් හිටුම් තහංචි,මල්වර තහංචි,කිරිමව් තහංචි,වැව් දියවර තහංචි,දීග තහංචි ආදී වශයෙන් තහංචි ක්‍රම රැසක් පැවතිණි.අතීතයේදී මෙම තහංචි ක්‍රම පනවා ඇත්තේ සමාජයේ පොදු යහපතට, පොදු ආකල්ප යන්ට එකඟ නොවන ක්‍රියාවලින් වැළැක්වීමේ අරමුණින්ය. එසේම මෙම තහංචි පිළිබඳව ඉන්දුනිම්න ශිෂ්ටාචාරයන්හි, මොහෙන්ද්‍ර ජාරෝ - හරප්පා ශිෂ්ටාචාරයනහි  මෙන්ම ආසියානු කලාපයේ සාම්ප්‍රදායික සමාජ ඇසුරින්ද සාක්ෂි හමුවේ. වාරණය කලා මාධ්‍යයන්ගේ ඉතිහාසය දක්වාම දිව යන අතර ඒවා වැඩි වශයෙන් ඉතිහාසයේ වාරණයට ලක් වූයේ ඉහත දැක්වූ සදාචාරය හා ආචාරධර්ම පදනම්වය.

වාරණ ඉතිහාසයේ විධිමත් අයුරින් පත් කරන ලද ප්‍රථම වාරණ නිලධාරියා පත්කර තිබෙන්නේ රෝමයේදීය. ඒ ක්‍රි. පූ. 443 දී කලා මාධ්‍යයන්ගේ සදාචාරාත්මක ප්‍රමිතීන් අධීක්‍ෂණය කිරීමට ඉතාලියේ රෝම නගරයේදී සමීක්‍ෂණ කාර්යාලයක්‌ (Office of Censor) පිහිටුවනු ලැබීමෙනි. ඔහු විසින් පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් සංඛ්‍යා ලේඛන පිළියෙල කිරීම,අධිරාජ්‍යයට විරුද්ධ අදහස් ප්‍රකාශයන් සොයා බැලීම, මහජනයාගේ වත්කම් පිළිබඳ සොයා බලා බදු පැනවීම,සාමාන්‍ය ජනයාගේ සදාචාරාත්මක හැසිරීම සොයා බැලීම මෙන්ම සමාජය පිළිගත් චාරිත්‍ර රැකීම සිදු කෙරිණි.එමෙන්ම යම් වරදක් කළ තැනැත්තකුට දඬුවම් පැනවීමේ බලය පවා මෙම නිලධාරීන් සතු විය.මෙය බටහිර ලෝකයේ වාරණ ක්‍රියාදාමයේ ආරම්භය වේ.

මෙලෙස වාරණයේ මූලාම්භය කෙටියෙන් විග්‍රහ කළ හැක

 

03.වාරණයේ ප්‍රභේද.....

වාරණයට ලක් වන මාධ්‍යන්ට අනුකූලව වාරණය වීමෙහි ක්‍රම පවතී ඒ අනුව ලෝකය පුරා  විවිධාකාර හෝ  මාධ්‍ය සන්දේශයන් කෙරෙහි ක්‍රියාත්මක වන මෙම වාරණයෙහි ප්‍රභේද  දහතුනක් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබේ.

a.    ස්වයං වාරණය

ස්වයං වාරණය යනු තමා විසින් තමා තුළම ඇතිකරගන්නා වාරණය හෙවත් තමත් තුළම ඇති කරගන්නා තහංචියකි. මෙහිදී සමාජයන් ද ස්වයං වාරණයකට ලක් විය හැක.ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නේ වාරණයකට වඩා හික්මීමක් ය. මෙය සමාජයේ සෑම අංශයක් කෙරෙහිම බලපායි. එහිදී දේශපාලන, සංස්කෘතික, ආර්ථික, ආගමික, පෞද්ගලික යන සමාජ සාධක මත  ඕනෑම දෙයක් ස්වයං වාරණයකට ලක් විය හැක. බොහෝ විට මෙම ස්වයං වාරණය ක්‍රියාත්මක වන්නේ සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට ඇති බිය මතය. විශේෂයෙන් ආගමික සංස්ථාව මගින් වැඩි වශයෙන් මිනිසාව ස්වයං වාරණයකට ලක්කරනු ලබයි. උදාහරණයක් ලෙස බෞද්ධාගම තුල ඇති පන්සිල් පද පහ (බොරු කීම, සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, පරුෂ වචන කීම, හිස් වචන කීම) මගින් පුද්ගලයකු තුළ ස්වයං වාරණයක් ඇති කරයි. එහිදී එම පුද්ගලයා ඉහත සඳහන් කළ පන්සිල් පද ආරක්ෂා කරමින් ස්වයං වාරණයකට ලක්වේ. මීට අමතරව අප යහළුවන් සමඟ සංවාදයේ යෙදෙන විට, පාසැල තුළ, ආගමික ස්ථාන තුළ හෝ ගෞරවනීය පුද්ගලයන් සමග සංවාදයේ යෙදෙන විට පවා ස්වයං වාරණයකට ලක් ව තම අදහස් ප්‍රකාශ කරනු ලබයි. ඒ අනුව පෙනී යන්නේ සමාජ සංදර්භය තුළ සමස්ත සංහතික යාම ස්වයං වාරණයකට ලක් ව ඇති බවයි.

b.    මුද්‍රිත මාධ්‍ය වාරණය.

නූතන සමාජයේ පුවත්පත්ග්‍රන්ථ සහ වෙනත්  මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් පැනවෙන වාරණය මෙයට අයත් වේ.අසභ්‍ය ප්‍රකාශන ,පුද්ගලිකත්වයට හානි කරවන නිර්මාණ, ආගමික විශ්වාස, ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අනුබල ලබා දෙන ලිපි, පුවත්පත් මුද්‍රණය  කිරීම,පාලනය කිරීම සහ තහනම් කිරීම මෙන්ම එවැනි දේ සිදු කරන්නන් හට දඬුවම් පැමිණවීම මුද්‍රිත වාරණයට අයත් වේ.වාරණ ඉතිහාසය වැඩි වශයෙන් වාරණයට ලක් වූයේ මුද්‍රිත වාරණයි. ක්‍රි.පූ 399 දී සොක්‍රටීස්ගේ කෘති තහනම් කරනු ලැබුවේ රාජ්‍ය ආගමට එරෙහිව අදහස් දැක්වීමේ සාධක යටතේය. අවසානයේ මොහුට එම නිසා මරණය ද හිමිවිය. විශේෂයෙන්ම 15 වැනි සියවසේ අවසන් භාගයේ සිට 1695 දක්වා  කාලය ඇතුළත බ්‍රිතාන්‍යයේ දැඩි පුවත්පත් වාරණය පැවතුණි. 'ස්ටාර් වෙම්බර්'නම් මණ්ඩලයක් තුළින් බලපත්‍රයක් නොගෙන යමක් මුද්‍රණය කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස නිති ගත කෙරුණි. ඊට අමතරව 18 වන හා 19 සියවසේ මැද භාගය තෙක් ම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉහළ මුද්දර බද්දක් අයකර පුවත් ඇතුළු ප්‍රකාශනවල මිල ඉහළ මට්ටමක තැබීම සිදු කරන ලදී. එමගින් අඩු ආදායම් ලාභී පවුල් වල පුද්ගලයින්ට පුවත්පත මිලදී ගැනීමේ හැකියාව නොමැති විය. මෙය වක්‍ර වාරණ ක්‍රමය සඳහා කදිම නිදසුනකි.

එසේම ජපානයේ ද 1910 සිට 1920 දක්වා කාලය තුළ සමාජය තුළ පැවති "මායිෂෝ ඩිමොක්‍රසි" හෙවත් ටායි ශෝ ප්‍රජාතන්ත්‍රවාදී යුගයේදී "අෂාහි ෂිම්බුන්" වැනි ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත් තහනම් කළේය. එසේ සිදු කළේ රජයේ නිලධාරිවාදි පාලනය දැඩිව විවේචනය කරමින් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීම කරණ කොටගෙනය.

ආසියාතික රටක් වූ චීනය තුළ වාරණය දැඩි ලෙස ක්‍රියාත්මක වූ රටකි. ක්‍රි.පු 221 -206 දී චීන මහා ප්‍රාකාරය තැනූ මහා අධිරාජයා වූ ෂිං හුං තී ( Shin Huang Ti) තම මතයට එකඟ නැති ග්‍රන්ථ ගිනි තබන ලද්දේය . එය දින 30ක් මුළුල්ලේ ගිනි ගත් බවද වාර්තා වේ. එයද චීනය තුළ මුද්‍රිත මාධ්‍ය වාරණය තිබූ බවට නිදසුනකි. එසේම 1991 දී සර්බියානු රජය ඇල්බේනියානු භාෂාව තහනම් කෙරුණු අතර 1990-1999 යන කාලය තුළදී කොසෝවා ප්‍රදේශයේ පුස්තකාලවල ඇල්බේනියන් බසින් ලියැවුණු සියලුම ග්‍රන්ථ  පුළුස්සා දැමීම ද තවත් එක් නිදසුනක් ලෙස පෙන්වාදිය හැක. මීට අමතරව ඉන්දියාවේ සල්මන් රුෂ්ඩි ගේ "සාතන්ගේ කවි"නම් කෘතිය තහනම් කිරීමත්, පාකිස්ථානයේ තස්ලිමා නස්රින් ගේ "ලැජ්ජා" කෘතිය තහනම් කිරීමත් හිට්ලර්ගේ පාලන යටතේ ජර්මනිය තහනමට ලක්වූ යුදෙව් පුවත්පත් ආදිය ලොව පුරා සිදු වූ මුද්‍රිත මාධ්‍ය වාරණයන්ට නිදසුන් ලෙස ගෙනහැර දැක් විය හැක. (කටුගම්පල, . 2015)

ලෝකය තුළ මෙන් ම ලංකාව තුළ මුද්‍රිත මාධ්‍ය වාරණයට ලක් වූයේය. 1833 දෙසැම්බර් 31 වනදා බ්‍රිතාන්‍ය රජයේ නියෝගයක් පරිදි "කලම්බු ජර්නල්"පුවත්පත අත්හිටුවිය. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ පුවත්පත් ක්ෂේත්‍රය පැවතිය යුත්තේ පෞද්ගලික අංශය තුළ විනා රජය යටතේ නොවන බවය. නමුත් ඇත්තෙන්ම මුල් වී තිබෙන්නේ එම පුවත්පත රජය විවේචනය කිරීමයි. ඊට අමතරව 1915 දී යුධ නීතිය පාදක කර ගනිමින් අධිරාජ්‍ය විරෝධී ලිපි පළ කළා යැයි සරසවි සඳරැස පුවත්පත වාරණයට ලක්කර තිබේ.

මේ අනුව සමස්ත ලෝකයෙහිම මුද්‍රත මාධ්‍ය වාරණය පැවත ඇති බව ගම්‍ය වේ.

c.     ආගමික වාරණය.

ආගමික වාරණය ලෝක ඉතිහාසයේ හමුවන පළමු වාරණ අංශය වේ. ආගමික වාරණය යනු සංවිධානාත්මක ආගමක අදහස් වලට පටහැනිව හෝ ඒවා විකෘති කර දක්වා අදහස් යටපත් කිරීමට
හෝ ඒවා තහනම් කිරීමයි. මෙම ආගමික වාරණය සමාජය තුළ දැඩිව ක්‍රියාත්මක වන අතර මෙයින් මිදීමට ද සමාජයට නොහැකිය. ආගමික වාරණය තුළදී අපට මුලින්ම හමු වන්නේ  ක්‍රි.ව 1616 දී වතිකානු පල්ලිය කොපනිකස් නම් විද්‍යාඥයාගේ කෘතීන් වාරණ ලයිස්තු ට ඇතුළත් කළේ එම කෘතිවල ක්‍රිස්තියානි දේව ධර්මයට විරුද්ධ මත ඇතැයි සලකා ය. එසේම පහළොස්වන සියවසේ දී කතෝලික සභා විසින් කියවීමට සුදුසු ,නුසුදුසු ලෙස ග්‍රන්ථ වර්ග කෙරුවේය. ඒ අනුව ඔවුන් "index libroum Prohibitorium" ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී. එසේම එම කතෝලික පාලකයන් විසින් පිහිටුවනු ලැබූ යුද්ධමය අධිකරණ ආයතනයෙන් විසින් කතෝලික ආගමේ විරුද්ධ පොත් පුළුස්සා දැමීම තහනම් කිරීම මෙන්ම එම ග්‍රන්ථ  ලියූ කතුවරුන්  පුළුස්සා මරණයට පවා පත් කර ඇත. ඒ අනුව අතීතයේදී ආගමික වාරණය ප්‍රබල ව පැවති බව පැහැදිලිය.

අතීතෙදි මෙන්ම මෑත කාලීනව ද මෙම ආගමික වාරණය බහුලව දක්නට ඇත. නිදසුනක් ලෙස තස්ලිමා නස්රින් ගේ "ලැජ්ජා" නම් කෘතිය හා  මොරිෂස් දිවයිනේ ලෙන්ඩිසෙ කොලන් (Lebdisey Collen) නම් ලේඛිකාව විසින් ලියන ලද "සීතාව කෙලෙසීම"යන කෘති තහනමට ලක්විය. තස්ලිමා නස්රින් ගේ කෘති තහනම් වූයේ මුස්ලිම් ආගමිකයන් බංගලාදේශයේ සුළු ජාතීයක වන හින්දු ජාතිකයන් පීඩනයට ලක් කරන බව තම කෘතිය තුළින් විදහා දැක්වීම නිසාය.1993 දෙසැම්බර් 3 ප්‍රකාශයට පත්"සීතාව කෙලෙසීම" තහනමට ලක් වූයේ ආගමට නිග්‍රහ කිරීම නිසාය. එසේම "The Last Temptation of Christ " සිනමා කෘතිය කතෝලික බැතිමතුන්ගේ දැඩි වාරණයට හසුවූ වූවකි. එය වාරණයට හේතු වූයේ ක්‍රිස්තියානි ආගමට දැඩි බලපෑමක් එල්ල කරන බවට පවසමිනි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ආගමික වාරණය දැඩි ව පැවතියේ ය. ගරු තිස්ස බාලසූරිය පියතුමා විසින් 1992 දී පළ කළ මරියතුමිය හා මානව විමුක්තිය කෘතිය ලංකාව තුළ වාරණයට ලක් විය.එසේම 1968 දී ටෙනිසන් පෙරේරාගේ දැති රෝදෙන් උපන් කෘතිය වාරණයට ලක් වීම.මෙහි යොදා තිබෙන නාමය හේතුවෙන් බුදුන් වහන්සේට හා ආගමට අපහාසයක් යැයි සඳහන් කර මෙම පොත වාරණය කර තිබේ.

මෙලෙස ආගමික වාරණය ලෝකයේ විවිධ රටවල් තුළ සිදුවී ඇති බව ඉහත කරුණු තුලින් පිළිබිඹු වේ.   

d.    සිනමා වාරණය.


සිනමා වාරණය යනු සිනමා කෘති වාරණයට ලක්වීමයි. මේවා බොහෝ විට වාරණය වන්නේ දේශපාලනය හා සදාචාරය පදනම් කරගෙනය. ඊට අමතරව තරුණ පරපුරේ ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව සහ සම්මත සමාජ සම්බන්ධතා සුරැකීම, රටේ සාමය හා වාර්ගික සුවතාවය ආරක්ෂා කිරීම හා වෙනත් ජාතීන් සමග පවත්වාගෙන යනු ලබන මිත්‍රශීලී සම්බන්ධතා සුරැකීම යන මූලික කාරණා පදනම් කරගනිමින් චිත්‍රපට වාරණය කරනු ලබයි. ලෝකයේ සදාචාරය පදනම් කොටගත් ප්‍රථම නීති පදනම ලෙස හඳුනාගත හැක්කේ "හේසි ප්‍රඥප්තියයි". මෙය 1930 දශකයේ සිට 1950 දශකය දක්වා ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක වී ඇත. ලෝකයේ ප්‍රථම වරට වාරණයට ලක් වූ චිත්‍රපටය ලෙස ඇමරිකාවේ නිෂ්පාදය වූ තෝමස් අල්වා එඩිසන් විසින් නිෂ්පාදිත The John Rice - May Erwin Kiss” චිත්‍රපටය පෙන්වා දිය හැක. එය සිප ගන්නා අවස්ථාවක් හේතුකොටගෙන සදාචාරාත්මකව වාරණය වූවකි. එසේම බ්‍රිතාන්‍යයේ 1905 දී "The Life Charles Peace"චිත්‍රපටයද වාරණය වූයේ සදාචාරාත්මක හේතු මතය. මෙවැනි චිත්‍රපටි බිහි වීම නිසා ඒවා වාරණයට"British Board of Censors" හෙවත් "බ්‍රිතාන්‍ය චිත්‍රපටි වාරණය පිළිබඳ මණ්ඩලය" නමින් මණ්ඩලයක් බිහි විය. රුසියාවේ ද 1930දී ඩෙව්ශෙන්කෝගේ " Zemlya Earth" චිත්‍රපටයේ ජවනිකා දෙකක් කපා දැමුවේ ලිංගික දර්ශනය සදාචාරාත්මක හේතු මතය. ඉන්දියානු සිනමාව තුළ ද  1953 ජුනි මාසයේ සිට 1954 නොවැම්බර් මාසය දක්වා ගතවූ මාස 18 ඇතුළත නේරු ආණ්ඩුව හොලිවුඩ් චිත්‍රපට 52 පෙන්වීම තහනම් කොට ඇත. ඊට හේතු වූයේ මිනීමැරුම් අපරාධ මෙන්ම ස්ත්‍රී දූෂණ ද චිත්‍රපට වල අඩංගු වීමයි.

ලංකාවේද 1952 දී ස්ථිර රැඟුම් පාලක මණ්ඩලයක් බිහිවු අතර එමඟින් මෙරට බොහෝ චිත්‍රපටි වාරණයෙන් ලක්විය. ලංකාවේ මුල් වරට මහජන ප්‍රදර්ශනය තහනම් වූ චිත්‍රපටය වන්නේ 1921 ලයිට් ඔෆ් ඒෂියා නම් නිහඬ ඉන්දීය චිත්‍රපටයයි. ඉන්පසු 1960  දී මුල් වරට තිරගත කිරීම සම්පූර්ණයෙන් තහනමට ලක් වූ චිත්‍රපටය වන්නේ එල්.එස්.රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නළඟන චිත්‍රපටයයි.ඊට අමතරව 20 සියවසෙන් පසු  ඉගිලෙන මාලු, බොරදිය පොකුණ, අක්ෂරය වැනි චිත්‍රපට වාරණයට ලක්වූයේ ලිංගික දර්ශන ඇතුලත් වීම නිසාය.

මේ අනුව සිනමාවද ලෝකය පුරා  වාරණයට ලක් වී ඇති බව පැහැදිලිය.

e. රාජ්‍ය වාරණය.

රාජ්‍ය වාරණය යනු පවතින රජයේ හෝ ආණ්ඩුව විසින් සිදුකරන වාරණයකි. රජයකට වාරණය පදනම් කරගෙන මෑධ්‍යවේදීන්ට කායික වශයෙන් පහරදීම, මාධ්‍ය ආයතන වලට පහරදීම, මනෝ විද්‍යාත්මක ප්‍රහාර, නීතිමය ක්‍රියාමාර්ග මූල්‍යමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතී. රාජ්‍ය වාරණය මූලිකම අවධිය හමුවන්නේ CENSOR නමින් පුවත්පත් බලධාරියකු ක්‍රි.පූ.443 දී රෝමයේ දී පත්කිරීමත් සමගය. ඉන්පසු රාජ්‍ය වාරණය හමුවන්නේ VIII හෙන්රි රජු විසින් සියලුම මුද්‍රණකරුවන් පලකරන ප්‍රකාශනයන් සඳහා අවසරයක් ලබා ගත යුතු යයි ආඥාවක් පැනවීමෙනි. එසේම 19 ශත වර්ෂයේ මැද භාගය දක්වා ම යුරෝපය පුරාම රාජ්‍ය වාරණය භාවිතය පැහැදිලිව දැක ගැනීමට හැකිවිය. විශේෂයෙන්ම ජර්මනියේ හිට්ලර් විසින් පිළිගත නොහැකි වූ නාසිවරුන්ගේ සියළු ප්‍රචාරක යන්ත්‍ර සිය පාලනයට ගනු ලැබිණි. ඉන්දියාවේ ද ම රාජ්‍ය වාරණය ක්‍රියාත්මක වූ අතර ඉන්දියාවේ යටත් විජිත සමයේ දී එකල ජනතාව විසින් කියවිය යුතු හා නොකියවිය යුතු දේ තීරණය කළේ රාජ්‍ය උපදේශක අධ්‍යක්ෂවරුන් විසිනි. ඒ අනුව එරට ද රාජ්‍ය වාරණය පැවැති බවට හෙළි වේ. එසේම 1996 පලස්තීනයේ යසර් අර්පත් බලයට පත්වීම සඳහා පැවති මැතිවරණයේදී ඔහු මාධ්‍ය බිය ගැන්වූ අයුරු රාජ්‍ය මාධ්‍ය වාරණයට කදිම නිදසුනක් සපයයි. ඔහු විසින් තම වාසිය සඳහා එරට මාධ්‍ය මෙහෙයවනු ලැබීය. නිදසුනක් ලෙස 1996 දෙසැම්බර් 15 සිට 25 අතර දී අර්තපත් රූපවාහිනි ගුවන්විදුලි කාලයෙන් පැයකට වඩා ලබා ගත් අතර ඔහුගේ විරුද්ධවාදියාට තත්පරයකුදූ නොලැබිණි. මීට අමතරව ඉඩම් රජය ද පුවත්පත් සම්බන්ධයෙන් දැඩි වාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔවුන් පැවසූයේ "සත්‍ය පිළිබිඹුවක් වීමට නම් රජයේ මාර්ගෝපදේශකත්වය යටතට පත්විය යුතුමය"යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය පාලනය මාධ්‍ය මර්දනය සඳහා යොදා ගැනීම නිලවශයෙන් ආරම්භ කරනු ලැබුවේ 1915 දී ඇතිවූ සිංහල මුස්ලිම් ජාතිවාදී කෝලාහලය හේතුකොටගෙන යුද්ධ නීති පැනවීමත් සමග ය. ඉන්පසු ඒ උපයෝගි කොටගෙන ප්‍රවෘත්ති ද පාලනය කළහ. ඊට අමතරව 1915 දී බෞද්ධයා පුවත්පත් තහනම් කෙරැණු අතර 1915 ජුනි මාසයේ සිට 1910 දක්වා දිනමිණ පුවත්පත දත් තහනම් කරනු ලැබුවේ ය. විශේෂයෙන්ම 1948 නිදහස ලබා ගැනීමෙන් පසු පැවැති එක් එක් ආණ්ඩු තුළ දී මාධ්‍ය වාරණය ඉතා දැඩිව ක්‍රියාත්මක කළේය. එහිදී ලේක්හවුස් ආයතනය දැඩිව වාරණයට ලක්විය. ඊටත් අමතරව රාවය, ලක්දිව වැනි පුවත්පත ද වාරණය විය.

ඒ අනුව රාජ්‍ය වාරණය ද ලොව පුරාම සිදු වී ඇති බව ඉහත කරුණු මගින් පැහැදිලි වේ.

f.    යුධමය වාරණය.

ආරක්ෂක අංශ සතු විවිධ තොරතුරු රහසේ තබා ගැනීම උදෙසා යුධමය වාරණය ක්‍රියාත්මක වේ. හමුදා පුවත් වාරණය මුලින්ම වාරණය වන්නේ 1544 දී බ්‍රිතාන්‍ය පාලනය කළ හෙන්රි රජතුමා විසින් ස්කොට්ලන්ත හමුදාව පිළිබඳව සඳහන් වී ඇති සෑම ග්‍රන්ථයක් ම පුළුස්සා දැමිය යුතු බවට නීතියක් ගෙනාවේ ය. ඊට හේතු වූයේ යුධ උපාය පිළිබඳ තොරතුරු  රහස්‍ය විය යුතු වීම හා එම තොරතුරු සතුරාට ලැබීම මගින් හමුදාවේ ස්ථාවරත්වය බිඳ වැටී යනු ඇතැයි සලකාය. විශේෂයෙන්ම පළමු ලෝක යුද සංග්‍රාමය පවතින විට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් තම නිවෙස් වලට ලියන ලිපි පවා පරීක්ෂාවට ලක් කර ඇත. ඊට අනුව 1917 නොවැම්බර් 17 සොල්දාදුවන්ගේ ලිපි වාරණය කිරීමේ සාමාන්‍යය  නියෝගයක්ද ප්‍රකාශයට පත් කර ඇත. බ්‍රිතාන්‍යය මෙන්ම ජර්මනිය, ඉතාලිය, ඇමරිකාව හා ජපානය වැනි රටවල් ද මෙය සිදුකර ඇත. එසේම 1993 ඇල්ජීරියාවේ ජනමාධ්‍ය වෙත ආයුධ සන්නද්ධ ඉස්ලාමීය කණ්ඩායම යුද්ධය ප්‍රකාශ කළ අතර 1995 වනවිට එම කණ්ඩායම් විසින් ඇල්ජීරියාවේ කතුවරුන් 58 හා පුවත්පත් ආයතන සේවකයන් ක්‍රමානුකූලව ඝාතනය කරන ලැබූහ. මෙලෙස ඔවුන් ඝාතනය කරනු ලැබුවේ ඇල්ජීරියාව ට පක්ෂපාතී ලෙස කතා කිරීම නිසාය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ද 1995 දී ඇති කරන ලද "යුධ පුවත් වාරණය" මෙම වාරණ ක්‍රමයට කදිම නිදසුනක් වේ. මෙම වාරණය මගින් රජයෙ  අනුදැනුමකින් තොරව යුද තොරතුරු ප්‍රකාශ කිරීම තහනම් විය. ඊට අමතරව එල්ටීටීඊ සංවිධානය ද යාපනය හා නැගෙනහිර පළාතේ මාධ්‍ය කරුවන්ට හා ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයන්ට විවිධ බලපෑම් සිදු කර ඇත.

ඒ අනුව ලොව පුරාම යුධ පුවත් වාරණය දැඩිව පැවත ඇති බව මෙමගින් ගම්‍ය වෙයි

g.     ගීත/සංගීත වාරණය.

ගීත/සංගීත වාරණය ද වාරණ ප්‍රභේදයන්හි මුල්ක තැනක ගනී. මූලික වශයෙන් අතීතයේදී ස්ත්‍රීන්ට ප්‍රසිද්ධියේ ගීත ගායනය තහනම් විය. 1686 දී ප්‍රංශයේ ප්‍රාන්ත ගණනාවක ප්‍රසිද්ධ වේදිකා මත ස්ත්‍රීන්ට ගී ගැයීම තහනම් විය. ජර්මානුවන් ද ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර "කළු ඇමෙරිකානු ගීත" සම්බන්ධයෙන්ද දැඩි වාරණයක් ක්‍රියාත්මක විය. ඊට අමතරව දකුණු අප්‍රිකාවේ මිරියම් මැකෝබා හා චිලී ප්‍රදේශයේ වික්ටර් හාරා යන සංගීතඥයන් නිරන්තරයෙන් වාරණයට ලක් වූ අතර 1973දී වික්ටර් හාරා ඝාතනයට පවා ලක් වූයේය.

සංගීත වාරණය පිළිබඳ සාකච්ඡා කරන විට 1940  ජෝර්ජ් ෆොම්බිගේ " When I'm Cleaning windows ගීතය BBC විසින් තහනම් කලේය.එසේම 1956 ABC මාද්‍ය ජාලය විසින් බිලී හොලීගේ " ලව් ෆෝ සේල්" නම් ගීතය තහනමට ලක් කිරීය. මෙම ගීත දෙකම වාරණයට ලක් වූයේ අසභ්‍ය වචන හා ගණිකා වෘත්තිය පිළිබඳව කරුණු අඩංගු වූ හෙයිනි. ඊට අමතරව දේශපාලන හේතු මත MTV මගින් විකාශය වු සිස්ටම් ඔෆ් ඩවුන් ගේ "බූම්" ගීතය ඉරාක යුද්ධයට විරුද්ධව තිබූ නිසා ඇමෙරිකානු රජය විසින් මෙය තහනම් කළේය. මීට අමතරව MTV මගින් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය ආක්‍රමණ කරන කාලවලදී "මොබි" සහ  "ඇනට් ෆ්ලැග්" ආදීන්ගේ ද විරෝධී ගීත ප්‍රචාරණය ප්‍රතික්ෂේප කර ඇත. ගීතයන් මෙන්ම ගීත නිර්මාණකරුවන් ද වාරණයට ලක්වී ඇත. ඇමරිකාවේ එමිනෙම් සංගීත කණ්ඩායම, ඇෆ්ගනිස්ථානයේ ෆර්හාඩ් ඩර්යා , නයිජීරියාවේ ෆෙලා කැටි , එංගලන්තයේ judge Dread වැනි නිර්මාණකරුවන් විවිධ හේතු මත වාරණයට ලක් වී ඇත. ලංකාවේ ද 1940 ජූලි 01 වැනි දින ගුවන්විදුලි ගීත ගායනා කිරීමේ දී සර්පිනාව වාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම් විය. එලෙස කිරීමට හේතු වූයේ ගායකයාගේ හඬ ඉක්මවා සර්පිනාවේ හඬ මතුවන බව සඳහන් කරමිනි. ඒ අනුව ලෝකය පුරා ම ගීත හා සංගීත වාරණය පැවති බව ඉතා පැහැදිලිය.

h.     රූපවාහිනී හා ගුවන්විදුලි වාරණය

රූපවාහිනිය හා ගුවන්විදුලිය ද නිරන්තරයෙන්ම වාරණයට ලක්වූ ප්‍රභේදයන් ය. මේ අතරින් ගුවන්විදුලිය අතීතයේ දී වැඩි වශයෙන් වාරණයට ලක්විය. මෙම වාරණය ආරම්භය පිළිබඳව දින නියමයන් හරියාකාර නොමැති වුවද ලොව පුරාම විවිධ රජයන්, පුද්ගලයන් ම ආධිපත්‍ය තහවුරු කිරීමේ උපකරණයක් ලෙස ගුවන් විදුලිය භාවිතා කර ඇත. බොහෝවිට ගුවන්විදුලි වාරණය කොට ඇත්තේ නිල නොවන හා විරුද්ධවාදී දේශපාලන මතවාද හේතුකොටගෙන ය. නිදසුනක් ලෙස පළමු ලෝක සංග්‍රාමයේ දී  කාලයේ යුගෝස්ලාවියාවේ ගුවන් විදුලි ප්‍රචාරණය රාජ්‍ය විසින් වාරණය කිරීමත් හා එකල එහි රාජ්‍ය ප්‍රධානි වූ මාර්ෂල් ටිටෝට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම තහනම් කිරීම පෙන්වා දිය හැක. එසේම 90 දශකයේ යුරෝපයේ එවක බලයේ සිටි මිලොසේවිත් ගුවන් විදුලි බලපත්‍ර අවලංගු කිරීම හා රාජ්‍ය විරෝධී ගුවන් විදුලි මධ්‍යස්ථානය කඩා දැමීමද ගුවන්විදුලි වාරණයට නිදසුන් ය. විශේෂයෙන්ම  1930 F.C.C හෙවත් ඇමරිකානු සමූහාණ්ඩුවේ ප්‍රචාරක කොමිෂන් සභාව පිහිටියේ මගින් කිසිදු ගුවන්විදුලි මධ්‍යස්ථානයකට බලපත්‍රයක් නොමැතිව නීතිමය ලෙස කිසිවක් ප්‍රචාරය කිරීමට නොහැකි විය. එයද ගුවන්විදුලි වාරණයේ සුවිශේෂී අවස්ථාවකි

ගුවන්විදුලියෙන් මෙන්ම රූපවාහිනිය ද පවත්වාගෙන යාම සඳහා රජයේ බලපත්‍රයක් ලබාගැනීම අතීතයේ සිට ම පැවතියේ ය. රූපවාහිනියේ විකාශය වන ඇතැම් වැඩසටහන් සමාජය නොමග යැවිය හැකියි යන තර්කය පදනම් කරගෙන රූපවාහිනියේ වාරණයන් සිදුවිය. නිදසුනක් ලෙස 1990 වසරේදී සෝමරත්න දිසානායක නිර්මාණය කරල ද අවසඳ ටෙලි නාට්‍ය වාරණයට ලක් වූයේ තරුණියක විසින් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත් තරුණයාගේ පිටෙහි දාඩිය පිස දමන ජවනිකාවක් හේතුකොටගෙනය. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ සත්‍යාගාරය සඳහා පෙරටුගාමී පක්ෂයෙහි කුමාර ගුණරත්නම් සහභාගී වූ වැඩසටහන විකාශනය අවලංගු කිරීම පෙන්වා දිය හැක.ඒ අනුව රූපවාහිනි හා ගුවන් විදුලිය ද ලෝකය පුරා වාරණයට ලක් වී ඇති බව පෙනේ.

i.       නාට්‍ය වාරණය.

නාට්‍ය වරණයද අතීතයේ සිටම පැවත එන්නකි. 16 වන සියවසේ නාට්‍ය සදහා රාජ්‍ය අනුග්‍රහය තිබු නමුදු පසුකලෙක එනම් 1601 පෙබරවාරි 23 පළමු එළිසෙබෙත් රැජින දවස රිචඩ් වේදිකා නාට්‍යයේ නිර්මාතෘ ආදිපදී රොබට් ඩිවේරෙයුස් ඝාතනය මෙම වාරණයේ එක් අවස්ථාවක්ය.එසේම මොලියර්ගේ තුර්තු ෆී හෙවත් කුහකයා නම් නාට්‍ය ප්‍රදර්ශනය කිරීමේදී ප්‍රංශයේ හා ප්‍රංශ ජනරජයේ අවහිරතා එල්ල වීම හා මානව අයිතීන් කතාකළ දාරියෝ ෆෝගේ  නාට්‍ය වාරණය වීම හා ඔහු සහ ඔහුගේ කණ්ඩායම සෘජු ලෙස නොවුවත් වක්‍ර ලෙස වාරණය වීම නාට්‍ය වාරණය සඳහා අතීතයේ ඇති නිදසුන් වේ. ලංකාවේ ද 1970 දී රිචඩ් සොයිසාගේ මේ කවුද මොනවාද කරන්නේ නාට්‍ය ග්‍රන්ථය තහනම් වීම මෙරට සිදුවූ වර්ණයන්ට උදාහරණයන්ය. ඒ අනුව ලොව පුරා නාට්‍යද වාරණයට ලක් වී ඇති බව පැහැදිලිය.

j.       තැපැල් හා තැපැල් සංදේශ වාරණය

රජයේ විසින් ලිපි පරික්ෂා කිරීම හෝ සෝදිසි කිරීම තැපැල් භාර්ය ලෙස හැඳින්වේ. මෙය ලොව පුරා සිදු වූ අතර 1454 දී ප්‍රංශයේ තැපැල් වාරණය ආරම්භ විය. ඉන්පසු පළමු ලෝක යුද්ධයේදී වැඩි වශයෙන් තැපැල් වාරණය දැක්නට ලැබිණි. එහිදී ෆින්ලන්තය, හන්ගේරියාව, රුමේනියාව, එංගලන්තය ,කැනඩාව යන රටවල වැඩි වශයෙන් මෙය සිදුවිය. ජර්මනිය ද ලෝක යුද්ධයේදී තව සොල්දාදුවන් තම නිවසට යවන ලියුම් තැපැල් කිරීමට පෙර ඒවා බලා ඇතැම් ලියුම් වාරණය කිරීමට ද කටයුතු කළේය. එසේම 1908 බ්‍රිතාන්‍යයේදී Post Office Act නමින් තැපැල් කන්තෝරු පනතක් ද සම්මත කර ගත්තේය. ඊට අමතරව 1937දී ඩබ්ලින් විසින් වාරණ කමිටුවක්ද පත් කර ඇති අතර 1938 සහ 1939 තැපැල් වාරණය සම්බන්ධව ආනුගමනය කළ යුතු නිර්ණායක ඇතුලත් පොත් දෙකක් ද පළවිණි. ඒ අනුව මෙලෙස තැපැල් වාරණය ද ලොව පුරා ක්‍රියාත්මක වී ඇති බව පෙනේ.

සාරාංශය....

වාරණය හෙවත් censorship යන්න ඓතිහාසික යුගයේ සිටම දක්නට ලැබෙන බව හා ඒවා එකල තහංචි ලෙස එම සමාජයේ පැවති බවට හඳුනා ගැනීමට හැකිවිය. අතීතයේ දී එම තහංචි යොදාගෙන තිබෙන්නේ සමාජය ආරක්ෂාව හා සදාචාරය පදනම්ව බවත් අප හදුනා ගත්තේය. එසේම වාරණය යන්න කුමක්දැයි නිර්වචනය කර ගනිමින් ඒවා යෙදෙන අවස්ථා සහ යොදාගත හැකි ක්‍රම පිළිබඳව ද මූලික වශයෙන් පැහැදිලි කර ගත්තෙමු.

එසේම ඉන් අනතුරුව වාරණයේ මූලාරම්භය හා එහි ප්‍රභේදයන් හඳුනාගත් අතර එයින් වාරණයේ ප්‍රභේදයන් එකින් එක ගෙන විසි වන සියවස තෙක් ඒවා එක් එක් රටවල් දී  ක්‍රියාත්මක වූ ආකාරය නිදසුන් ද යොදාගනිමින් පැහැදිලි කරගත්තේය. ඒ අනුව වාරණය යන්න අතීතයේ සිටම විසිවන සියවස තෙක්ම ලොව පුරා විවිධාකාරයෙන් දක්නට ලැබෙන බව මෙම ලිපිය මගින් පැහැදිලි වේ.


පසිදු නයනජිත්
(ශ්‍රීපාලි මණ්ඩපය,ජනමධ්‍ය අධ්‍යනාංශය,දෙවන වසර)





No comments:

Post a Comment