ජනමාධ්‍ය සදේශයක ඇතුළත් තොරතුරුවල සංයුතිය
පුරාතනයේ සිට ජනයා
තොරතුරු ලබා ගැනීමේ පිපාසයකින් පෙළුන අතර එය කාලයත් සමඟ සීඝ්‍ර ලෙස වැඩි විය. එම
පිපාසේ ප්‍රතිඵල ලෙස සංහතික මාධ්‍ය මෙලොවට බිහි විය. ඒ අනුව මෙම ජනමාධ්‍යවේදී න්‍යායෙහි
තොරතුරු නැමැති පදාර්ථය මෙය නිර්මාණය කරනු ලබන ප්‍රධාන සංකල්පය වේ. මෙම සංහතික
මාධ්‍ය හා තොරතුරු හුවමාරු වන්නේ පඨිතයන්
ලෙස එසේත් නැතිනම් සන්දේශයන් ලෙසය. මෙය තොරතුරු ක්‍රියාවලිය තුළ සන්දේශය
හෙවත් පඨිතය අතරමැදියෙක් හා වාහකයෙක් ලෙස ක්‍රියාකරනු ලබයි. මෙම පඨිතය යන්නට "text" ලෙසත්
නාට්‍ය කලාව තුළ "පෙළ" ලෙසත් එසේම මෙය "වියමන" "පණිවිඩය"
ආදී නොයෙකුත් අරුත් ලබාදෙයි. නමුත් ශාස්ත්‍රීය වශයෙන් භාවිතයට ගැනීමේදී
"සන්දේශය" හා "පඨිතය" යන නාමයන් මගින් මෙය ආමන්ත්‍රණය කරනු
ලබයි.
මෙම
සංහතික මාධ්‍ය පඨිතයන් තුල යම් ගති ලක්ෂණයන් දක්නට ඇත. ඒ අනුව මෙම සංහතික මාධ්‍ය
පඨිතයන් ප්‍රථමයෙන්ම ආමන්ත්‍රණය කරනු ලබන්නේ ග්‍රාහකයා හෙවත් සංහතිකයාය. එසේම මේ
පඨිතයන් තුල තිබෙනුයේ විද්‍යාත්මක නැඹුරුවක් නොව දෘෂ්ඨිවාදී නැඹුරුවක් ය. මෙම මාධ්‍ය
පඨිතයන් සවිඥානිකත්වය ට වඩා අවිවිවේචකවාදී හෙවත් අවිඥානික ස්වරූපයක් ගනු ලබයි.
එසේම මෙයට දේශපාලන නැඹුරුවක් ද තිබිය
යුතුය. මේ පඨිතයන් තුල ඇතුළත්වන්නේ සවිස්තරාත්මක සාමාන්‍ය කෘත තොරතුරුය.
ඒවා වැඩි වශයෙන් දෛනික තොරතුරු පාදක කොටගෙන ගොඩනැගේ. ඊටත් අමතරව මීට විචිත්‍රවත්ව
රූපයක් තිබිය යුතුය. එනම් එකිනෙකට සම්බන්ධ නොමැති තොරතුරුවල යාන්ත්‍රික
ඒකාබද්ධතාවයක්ද මෙම සංහතික මාධ්‍ය පඨිතයන් තුල තිබීම මෙහි දක්නට ලැබෙන ලක්ෂණයන්ය.
මෙම සංහතික මාධ්‍ය
පඨිතයක තොරතුරු හි සංයුතිය ගත් කල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
ඒවා නම්,
1) අර්ථප්‍රකාශනවේදය
2) පදසංයෝජනවේදය
3) උපයෝගීතාවාදය
මෙම මූලික ප්‍රධාන සංඝටක ත්‍රිත්වය සංහතික මාධ්‍ය පඨිතයන් නිර්මාණය කිරීමේ ප්‍රධානම ප්‍රපංචයන්ය. මෙය ප්‍රායෝගික ලෙස පඨිතයක් නිර්මාණය කිරීමේ දී මාධ්‍ය කරුවාට අත්‍යවශ්‍යම වන සංඝටකයන් ද වේ. මෙම සංඝටක අතරින් මෙම නිබන්ධන තුළ සාකච්ඡාවට ලක් කරනු ලබන්නේ පළමු සංඝටකය එනම් අර්ථප්‍රකාශනවේදයයි. මෙම අර්ථප්‍රකාශනවේදයෙහි ප්‍රධාන උප කොටස් හතරක් ද දක්නට ලැබෙන අතර ඒවා ඇසුරින් සංහතික මාධ්‍ය පඨිතයක අභ්‍යන්තර සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදුකරනු ලබයි.
සංහතික මාධ්‍යන්ගේ
තොරතුරු හුවමාරු වන්නේ මාධ්‍ය පඨිතයක් ලෙසය. මෙම පඨිතයන් විවිධාකාරයෙන් දක්නට ඇත.
විද්‍යා පඨිතයන්, ආගමික පඨිතයන්, දේශපාලන
පඨිතයන්, ක්‍රීඩා
පඨිතයන්, සාහිත්‍යය
පඨිතයන් මේ ආදී නොයෙක් පඨිත වර්ගයන් සංහතික මාධ්‍ය තුළ දක්නට ඇත. මේ පඨිතයන්
නිර්මාණය කරන්නේ මාධ්‍ය කරුවන් විසින් ය. මෙම පඨිතයන් ප්‍රායෝගික ලෙස නිර්මාණය
කිරීමේ දී මෙය න්‍යාය තුළ ප්‍රධාන න්‍යායන් කොටස් තුනක් දැකිය හැකිය.
1. අර්ථප්‍රකාශනවේදය
2. පදසංයෝජනවේදය
3. උපයෝගීතාවාදය
මේ අතරින්
අර්ථප්‍රකාශනවේදය සංහතික මාධ්‍ය පඨිතයක අභ්‍යන්තර සංයුතිය සැකසීමේදී වඩා වැදගත් හා
ඉවහල්වන සංඝටකයක් ය. මේ අනුව අර්තප්‍රකාශනවේදය යනු මාධ්‍ය කරුවා හා යථාර්ථය අතර
ඇති සම්බන්ධතාවය යි. යථාර්තය යනු එම අදාල සිදුවීමයි. එසේම මෙය එම සිද්ධිය හා මාධ්‍ය
කරුවා අතර පවතින අවබෝධාත්මක සංජානාත්මක සම්බන්ධය ලෙසත් හැඳින්වුණු ලබයි. සරලවම
පැවසුවහොත් මාධ්‍ය කරුවා එම සිද්ධිය කෙසේ තේරුම් ගනු ලබන්නේ ද යන්නය. නිදසුනක් ලෙස
රිය අනතුරක් වූවා යැයි සිතමු. එවිට එම සිද්ධිය හා මාධ්‍ය කරුවා අතර පවතින
සම්බන්ධතාවය මෙම අර්ථප්‍රකාශනවේදයෙන් කියවෙනු ලබයි. මෙය බැලූ බැල්මට සරල කාරණයක්
ලෙස පෙනුනද මෙය සරල නොවේ. ඒ අනුව මෙහි ගැඹුර ස්පර්ශය කිරීමේදී මෙම අර්ථප්‍රකාශන වේදයෙහි උප අනු කොටස් හතරක්
දැක ගැනීමට හැකි වේ. මෙය මාධ්‍යකරුවා විසින් පඨිතයක් නිර්මාණය කිරීමේදී ගනු ලබන
මූලික පියවරයන් ලෙස ද හදුන්වා දිය හැක. ඒ අනුව මෙම අර්ථප්‍රකාශනවේදයේ එන උප කොටස් 04 මෙසේ ය.
1. යථාවිධ
තොරතුරු
2. නියෝගිත /
විධානිත තොරතුරු
3. ඇගයීම්යුම්ශීලි
තොරතුරු
4. ප්‍රතිමානක
තොරතුරු
1. යථාවිධ තොරතුරු
යථාවිධ
තොරතුරු යනු මාධ්‍යකරුවා සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් කුමක්ද වී ඇත්තේ යන්න ඔහුට
ප්‍රත්‍යක්ෂව ම දැක බලා ගනිමින් එසේත්
නොමැති නම් පටිගත කර ගැනීමක් , සටහන් කර ගැනීමක්, ඡායාරූපයට
ගැනීමක් හෝ අවට පුද්ගලයන්ගෙන් සිදුවීම පිළිබඳව කාරණා ප්‍රත්‍යක්ෂවම දැනගෙන පඨිතයට
අඩංගු කරණු ලබන තොරතුරුය. එම තොරතුරු සෑම විටම පොදුවේ. ආයතනික ස්වරූපය හෝ ආයතනක
දෘෂ්ටිකෝණය යථාවිධ තොරතුරු තුළ අඩංගු නොවේ. මෙම තොරතුරු කාණ්ඩය තුළ ඇතුළත් වන්නේ
සිදුවීමේ ප්‍රධාන කාරණා හෙවත් සිදුවීමේ මූලික හරය පමණි. ඒ අනුව මෙලෙස මාධ්‍ය
කරුවන් විසින් කුමක් සිදුවී තිබේද යන්න පිළිබඳව ලබාගන්නා වූ සවිස්තරාත්මක තොරතුරු
පමණයක් යථාවිධ තොරතුරු තුළ අඩංගු වේ. උදාහරණයක් ලෙස රිය අනතුරක් සිදු වූ පසු මාධ්‍ය
කරු විසින් එම ස්ථානයට ගොස් ලබාගන්නා හා ඔහු ප්‍රත්‍යක්ෂ කරගන්නා එනම් මෙම රිය
අනතුරු වී තිබෙන්නේ කොහේද,
කීයටද, අනතුර සිදු වී තිබෙන්නේ කෙසේද, අනතුරට පත් වී
සිටින පුද්ගලයන්ගේ තත්වය කෙසේද, ජීවිත හානි සිදුවී තිබේද ආදී මූලිකම තොරතුරු
මෙම යථා විධ තොරතුරු අනු කොටසට අයත් වේ. මෙය තව දුරටත් පහත ඇති නිදසුන් මගින්
පැහැදිලි කර ගැනීමට හැකිවේ.
මෙම ඉහත සිදුවීම පදනම් කරගෙන ලියවුණු පඨිතයන් තුළ යථාවිධ
තොරතුරු ඇතුළත් වන්නේ මෙසේය.
"මොණරාගල – බදුල්ල
මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී
මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු
මියගොස් තවත් 32කට තුවාල
සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි."
(දිවයින පුවත්පත)
දිවයින පුවත්පතේ පමණක් නොව අනෙක් පුවත්පත්
තුළ ද මෙම සිදුවීම වාර්තා වී තිබුණේ මෙලෙසය.
"ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රිය අනතුරට ලක්වූ මොහොතේ මගීන් 61 දෙනෙකු පමණ සිට ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයට ඉඩදීමට යෑමෙන් බස් රථය අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගලක් මත නතර වී තිබිණි." (මව්බිම පුවත්පත)
"අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල
සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අදාළ ප්‍රදේශයේදී මාර්ගයෙන්
ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට
පෙරළීමෙන් අනතුර සිදුවුණි" (දෙරණ අරුණ)
මේ අනුව පෙනී
යන්නේ මෙම යථාවිධ තොරතුරු පොදු බවක් ගෙන ඇති බව ය. මෙහි අඩංගු මූලික තොරතුරු පුවත්පත්
ආයතනය වෙනස් වුවද එම තොරතුරුවල වෙනසක් දැකගැනීමට නොහැකි ය. ඒ අනුව පෙනී යන්නේ
ආයතනය දෘෂ්ටිකෝණය මෙම යථාවිධ
තොරතුරු වලට අඩංගු නොවන බවයි. එය ඉහත නිදසුන් තුළින් මනාව පෙනී යයි.
එසේම මාධ්‍යකරුවා
විසින් යථා විධ තොරතුරු එක් රැස් කර ගැනීමේ ක්‍රමයන්ද ඉහත පඨිතයන් තුල දෙක ගැනීමට
හැකි වෙන ඒවා මෙසේය.
·
සිද්ධියට මුහුණ දුන්
පුද්ගලයන්ගෙන් අසා ගෙන් අසා එම තොරතුර
ඇතුලත් කිරීම
"මම බස් එකේ
මැද හරියේ හිටියේ. බස් එක එක පාරට ම පෙරළුණා. මාව විසි වෙලා ගිහින් සීට් එකක්
ඇතුළට ගිහින් හිරවුණා. මිනිස්සු මහ හයියෙන් විලාප තියමින් කෑගැහුවා. කුඩුපට්ටම්
වෙච්ච බස් එක කැලයක් ඇතුළේ ගල් දෙකක් මැද හිරවෙලා තිබුණා,"
·
ඡායාරූප මඟින් ලබාගත්
තොරතුරු ඇතුළත් කිරීම.
මෙවැනි ප්‍රත්‍යක්ෂ තොරතුරු ලබා ගත් ක්‍රමයන්ද නිදසුන් තුළින් වඩාත් පැහැදිලි වේ.
මේ අනුව පෙනී යන්නේ යථාවිධ තුළ මාධ්‍යකරුවන් ගේ හෝ ඔහු නියෝජනය කරනු ලබන මාධ්‍ය ආයතනයේ දෘෂ්ටිකෝණය මෙම තොරතුරු කාණ්ඩය තුළ ඇතුළත් නොවන බවයි. එසේම මාධ්‍යදකරුවා විසින් කුමක්ද වී ඇත්තේ යන්න පිළිබඳව සවිස්තරාත්මක ගන්නා තොරතුරු මෙම යථාවිධ තොරතුරු තුළ අඩංගු වන බව මේ අනුව ප්‍රත්‍යක්ෂ වේ.\
2.නියෝගිත හා විධානිත තොරතුරු
මෙය යථාවිධ තොරතුරු හි මීළඟ පියවරයි. මෙහිදී තොරතුරු ලබාගත් මාධ්‍යවේදියා කාර්යාලයට පැමිණ මෙම ලබාගත් තොරතුරු ගොනුකරමින් පඨිතය සකස් කිරීමට පටන් ගනී. ඒ අවස්ථාවේදී මාධ්‍ය කරුවා විසින් අදාළ සිදුවීම හෙවත් යථාර්ථයට යම් අර්ථයක් ලබා දීමට කටයුතු කරයි. එහිදී මාධ්‍ය කරුවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා දරන දෘෂ්ටිකෝණය හෝ මාධ්‍යකරුවා අයත් වන මාධ්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් දක්වන දෘෂ්ටිය පඨිතය ට ඇතුළත් කිරීමට කටයුතු කරයි. එය සිද්ධියට බාහිරින් ආරෝපණය කරන තොරතුරු වේ. එලෙස බාහිරන් එකතු කළ තොරතුරු නියෝගිත තොරතුරු හෙවත් විදානිත තොරතුරු ලෙස හඳුන්වනු ලබයි. වැඩි වශයෙන් මාධ්‍යකරුවා අයත් වන මාධ්‍ය ආයතනයේ තොරතුරු ප්‍රතිපත්තිය මගින් ක්‍රියාත්මක වන හා ඊට ගැලපෙනම තොරතුරු මෙහිදී පඨිතය ට ඇතුළත් කරයි.
මෙය පහත නිදසුන් මගින් තවදුරටත් පැහැදිලි කර ගැනීමට හැක
කාලීන සමාජය
තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාධ්‍ය පඨිතයක් ලෙස මෙම තෙල් අර්බුදය පෙන්වා දිය
හැක. මෙම සිදුවීම වටා පඨිතයන් රාශියක් නිර්මාණය වූ අතර ඒවායේ තොරතුරු සංයුතිය
එකිනෙකට වෙනස් ආකාරයක් ගැනීය.
"ඒ සියල්ල එසේ තිබියදී
දැන් උඩරට එළවළු ගොවියෝ අලූත් ඛේදවාචකයකට මුහුණ දෙන්නට පටන් ගෙන ඇත්තේ ය. ඒ ඉන්ධන
හිඟයයි. පහුගිය කාලයේ කාබනික වගාවෙන් බැටකෑ උඩරට ගොවියෝ දැන් මේ දවස්වල බැට කන්නේ
ඞීසල් පෙට‍්‍රල්, ලාම්පුතෙල්
නොමැති කමින්ය.
ලෝකයේ බලවත්
රටවල් දෙකක් අතර යුද්ධය පටන් ගෙන දැන් දවස් හත අටකි. මේ නිසා බොරතෙල් බැරලයක මිල
ඉහළ ගියා යැයි කතාවක් තිබේ. බොරුවක් නොවේ. එහෙත් හැමදාම ලෝකයට හෙම්බිරිස්සාව හැදෙන
විට අපේ රටට නිව්මෝනියාවක් තරමට එය දැනෙන්නේ අපි ඩොලර්වලින් දුප්පත් නිසා ය."
(දිවයින
පුවත්පත)
මේ ඉහත සිදුවීම සම්බන්ධයෙන් දිවයින පුවත්පත වාර්තා කර පඨිතයක අඩංගු තොරතුරු ය. මෙය බැලූ බැල්මට පවතින රජයට චෝදනා නගමින් මෙම පඨිතය සකසා ඇත. මෙම සිදුවීමම සම්බන්ධයෙන් තවත් පුවත්පතක් පළකළ පඨිතයක් මෙසේය,
"අර්බුදය පිළිබඳ සම්පූර්ණ චෝදනාව වත්මන් ආණ්ඩුව වෙත යොමු කිරීම යුක්ති සහගත නැත. එක අතකින් මේ අර්බුදයට දිගුකාලීන හේතු බලපා ඇත. තව අතෙකින් ලෝකයේ සමාජ, ආර්ථික වෙනස්වීම් බලපා ඇත. එහි අර්ථය වන්නේ කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වීමය. තවත් අතෙකින් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පෙර සූදානමක් අපට කවදාවත් තිබී නැත. සෑම ආණ්ඩුවක්ම සිදු කර ඇත්තේ විදේශ ණය ගනිමින් ඒවා ජනතා සහන සඳහා යොදා ගැනීමය."
|
එකම සිදුවීම
වුවද මෙම පඨිතයේ ඇත්තේ ඉහත දී සඳහන් කළ පඨිතයට සම්පූර්ණයෙන්ම වෙනස් තොරතුරු ය. මෙය
ආණ්ඩුවට පක්ෂව ලියමු පඨිතයක් බව හොදින්ම වැටහේ. ඒ අනුව ඉහත පඨිතයන් නිර්මාණය කරනු
ලබන මාධ්‍යකරුවා හෝ ඔහු අයත් වන මාධ්‍ය ආයතනයේ දේශපාලනික දෘෂ්ටිකෝණය එම පඨිතයන්
තුල අඩංගු වන බව ඉතා පැහැදිලිය. ඉන් ගම්‍ය වන්නේ විධානිත/ නියෝගිත තොරතුරු
පඨිතයෙන් පඨිතය ට වෙනස් වන බවයි. මේ ආකාරයට එකම පුවතට විවිධාකාර අර්ථයන් ලබාදීමට
විධානිත/ නියෝගිත තොරතුරු හි සංයුතිය ඉවහල් වන බව මෙමගින් ප්‍රත්‍යක්ෂ වේ.
03.ඇගයුම්ශීලී තොරතුරු
මෙම තොරතුරු
නම් පඨිතය සකස් කරගෙන යාමේදී මාධ්‍යකරුවා විසින් මෙම සිදුවීමට යම් වටිනාකමක් හෝ ඇගයීමක් ලබාදෙමින් ඇතුලත් කරන
ලද තොරතුරු ය. මෙතුළින් අදාල සිදුවීමට බාහිර වශයෙන් වටිනාකමක් ආරෝපණය කරයි. එය
මූලික සිදුවීම තුළ දක්නට නොමැති තොරතුරුය. මෙම ඇගයුම්ශීලී තොරතුරු ඇතුළත් කිරීම
තුළින් පඨිතය ට සංහතිකයා ආකර්ෂණය කර අවධානය දිනාගැනීමටද හැකි වේ. උදාහරණයක් ලෙස
යම් පඨිතයක විශේෂ කර තිබීම. එනම් "වසරේ දැවැන්තම සොරකම" , "ශ්‍රී ලාංකික
ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වැටලීම" ආදී අමතර වටිනාකමක් පඨිතය ට
ඇතුළත් කිරීමට මෙම ඇගයුම්ශීලී තොරතුරු මගින් හැකි වේ. මෙය තවදුරටත් පහත නිදසුන්
මගින් පැහැදිලි වේ.
" බ්ලුමැන්ඩල් සෝසුසුම්
කන්දේ විලාප"
මෙය කොලොන්නාවේ කුණු කන්ද නායයෑමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ පඨිතයක ඇතුළත් ඇගයුම්ශීලී තොරතුරු සංයුතියයි. මෙම තොරතුරු සංයුතිය තුළින් ක්ෂණිකව ග්‍රාහකයා ආකර්ෂණය කරගනු ලබයි.
ඉහත සිරස්තලයට අමතරව තවත් සිරස්තල කීපයක් මෙසේය,
"පළාතම මළ ගෙයක් කළ පස්සර මාරක අනතුර"
"ඩොලරය අහසට, රුපියල බල්ලට, ජනතාව වලපල්ලට"
"ජනතාව බිය කරන
ගෑස් බෝම්බ"
මෙලෙස නොයෙකුත් පඨිතයන් තුල මෙම ඇගයීම්ශීලී තොරතුරු
වර්ගය දක්නට ඇත. සංහතිකයා තුළ පඨිතය
කියවීමට රුචියක් හා කුතුහලයක් එකතු කරමින් පඨිතය ට අමතර ඇගයීමක් හා වටිනාකමක් එක්
කිරීමට මේ හරහා හැකි වේ. එය ඉහත නිදසුන් මගින් ඉතා පැහැදිලිව ගම්‍ය වේ.
4.ප්‍රතිමානක තොරතුරු
මාධ්‍යකරුවා
විසින් පඨිතය ට විවිධ තොරතුරුඑක් කරනු ලබයි. එහිදී මාධ්‍ය කරුවා විසින් අදාළ
සිදුවීම සම්බන්ධයෙන් සංහතිකයාට යම් උපදේශනයක් ලබා දීම හෝ විය යුතු ආකාරය, කළ යුතු ආකාරය, අනුගමනය කළ
යුතු ආකාරය, පිළිපැදිය
යුතු ආකාරය ආදී විවිධ උපදේශනයන් හෝ වැඩිදුර අදහස් දැක්වීම් මෙම ප්‍රතිමානක තොරතුරු
යටතේ සිදුවේ. උදාහරණයක් ලෙස මිනී මැරුමක් සම්බන්ධයෙන් පඨිතයක් රචනයේදී මාධ්‍යකරුවා
එම පඨිතයෙහි, හදිසි කෝපය
මෙම මරණයට හේතු වී ඇති බවත් හදිසි කෝපය පාලනය කර ගත යුතු බවත් එසේම ඒවා ගෙන්
වැළකෙන අකාරය හා මනුෂ්‍ය ඝාතනය කළ පසු ඝාතකයාට තිබෙන දඬුවම් හඳුන්වා දෙමින් එලෙස
මනුෂ්‍ය ඝාතන කිරීම වරදක් බව පඨිතය ආශ්‍රයෙන් සංහතිකයාට උපදේශනයක් ලබා දෙමින් එම
ඇතුළත් කර තිබෙන තොරතුරු ප්‍රතිමානක තොරතුරු නම් වේ. ඒ අනුව පැහැදිලිවම පඨිතයක්
රචනයේදී මාධ්‍ය කරුවන් විසින් අඩංගු කරන උපදේශනාත්මක තොරතුරු ප්‍රතිමානක තොරතුරු
සංයුතියට අයත් වන බව මින් පැහැදිලිය.
පහත නිදසුන් තුළින් ද එය තවදුරටත් හඳුනාගත හැක.
"මේ හැම කතාවක් ගැනම් මැදහත්ව සිතා බඳුන විට සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණා ටික මෙසේ පෙළ ගැස්විය හැකිය. ඇල්ල සංචාරකයන්ට ඉක්මනින් නැවත විවෘත කළ යුතුය. ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය යුතුය. ගම්මුන්ගේ ආර්ථිකය රැකදිය යුතුය. ප්‍රාදේශීය ආයතන ආදායමක් ලැබිය යුතුය. පානීය ජලයේ ප්‍රථීතිය රැකිය යුතුය. මේ සියල්ල එසේ පවතින්නට නම් ඇල්ලේවල පරිසරය පණ මෙන් රැකගත යුතුය." (මව්බිම පුවත්පත)
මෙම පඨිතය තුළද ප්‍රතිමානක තොරතුරු ඇතුළත්ව ඇත. මාධ්‍යකරු විසින් අදාළ ගැටලුව සම්බන්ධයෙන් යම් උපදේශනයන් කිහිපයක්ම ඇතුළත් කර ඇත. ඒවා මාධ්‍යකරුවාගේ මතයයි. එය තුලින් සංහතිකයාව දැනුවත් කිරීමක්ද සිදුවේ. මෙම ප්‍රතිමානක තොරතුරු සංයුතිය බොහෝවිට පඨිතයක අවසානයේ යොදනු ලබයි.
එවැනි ප්‍රතිමානක තොරතුරු ඇතුළත් පඨිතයන් කිහිපයක් මෙසේ ය,
"මහා
පරිමාණයෙන් කරනු ලබන වාණිජ බෝග වගාවේදී කාබනික පොහොර යෙදීම පිළිබඳ ගැටලු ඇති වීමට
පුළුවන. මෙහිදී කළ යුත්තේ රසායනික භාවිතය අවම කිරීම හෝ විකල්ප ක්‍රම භාවිතා
කිරීමයි. රසායනික පොහොර භාවිතය පිළිබඳ ගොවියන් තුළ ඇති කැමැත්ත හා ආකල්ප වෙනස්
කිරීමට නම් ඔවුන්ට කෘෂි රසායනික භාවිතයෙන් සිදු වන හානි පිළිබඳවත් කාබනික බෝග
වගාවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීමයි. රජය ක්‍රමානුකූලව
රසායනික භාවිතය අවම කිරීමට කටයුතු කළේ නම් මෙවැනි උද්ඝෝෂණ හා විරෝධතා මතු නොවීමට
ඉඩ තිබුණි."
(ලංකාදීප
පුවත්පත)
"ලංකාවට වැටෙන හිරුඑළිය මේ තරම් අපතේ යවන රටක් තවත් නම් තිබෙනවාද යන්න විමසිය යුත්තකි. අප වහා සූර්ය බල සැපයුමකට සූර්ය බල උත්පාදනයකට කවුරු අකුල් හෙළුවත් යා යුතුය. එය වියදම් අඩු නිරතුරු විදුලිය උපද්දවන ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයකි. අද චීනයේ සූර්ය බල උපාංග නිපදවීම ආරම්භ කිරීමත් සමඟම එය ඉතා ලාභදායක බවට පත් වී ඇත. එනිසා කයිවාරු ගසමින් කාලය කා දමනවාට වඩා කවුරු කවුරුත් මේ අර්බුදය සිහි නුවණින් වටහා ගෙන වහ වහා විදුලි අර්බුදයට සාර්ථක ක්‍රියාමාර්ග ගත යුතුය."
(මව්බිම පුවත්පත)
මෙලෙස විවිධ පඨිතයන් තුල මාධ්‍යකරුවා විසින් උපදේශනාත්මක තොරතුරු එනම් ප්‍රතිමානක තොරතුරු ඇතුළත් කර තිබේ. මෙයටද මාධ්‍යකරුවාගේ හෝ මාධ්‍ය ආයතනයේ දෘෂ්ඨිකෝණය බලපෑම් කරයි. ඒ අනුව ඉහත නිදසුන් ත්‍රිත්වය මගින් ප්‍රතිමානක තොරතුරු පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකිය.
පඨිතයක් නිර්මාණය කිරීමේදී පඨිතයෙහි සංයුතිය සකසා ගැනීම අතිශය වැදගත් කාරණාවකි. පඨිතයක සංයුතිය සකසා ගැනීමේදී එහි බාහිර සංයුතිය ට වඩා අභ්‍යන්තර සංයුතිය මූලික තැනක් ගනී. ඒ අනුව පඨිතයක් නිර්මාණය කිරීමේදී යොදාගනු ලබන ප්‍රථම පියවර හෙවත් අර්ථප්‍රකාශනවේදය පිළිබඳ යම්තාක් දුරට මෙම නිබන්ධනයේදී සාකච්ඡාවට ලක්විය. අර්ථ ප්‍රකාශනවේදය තුළ ඇති උප කොටස් 04 පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා විය. එහිදී යථාවිධ තොරතුරු හරහා මාධ්‍යවේදියා සිද්ධියට ඇති සම්බන්ධතාවයද, විධානිත/නියෝජිත තොරතුරු හරහා පඨිතය ට විවිධාකාර දෘෂ්ඨින්ගෙන් යුත් අර්ථයන් ද, එසේම ඇගයුම් ශීලි තොරතුරු හරහා පඨිතය ට අමතර වටිනාකමක් ආරෝපණය වීම ද, අවසානයේ ප්‍රතිමානක තොරතුරු හරහා සංහතිකයාට ලබාදෙන උපදේශනය පිළිබඳ මෙම නිබන්ධනය තුළ නිදසුන් ගෙනහැර දක්වමින් පැහැදිලි කළේය. ඒ අනුව අරිථප්‍රකාශනවේදයේ ඇති මෙම උප කොටස් 04 සංහතික මාධ්‍ය පඨිතයක භ්‍යන්තර සංයුතිය සැකසීමෙහිලා කෙතරම් වැදගත්ද යන්න මෙම නිබන්ධනය හරහා අතිශය ගම්‍යමාන වේ.
පසිදු නයනජිත්
(ශ්‍රීපාලි මණ්ඩපය,ජනමාධ්‍ය අධ්‍යනාංශය,දෙවන වසර)






No comments:
Post a Comment